Sunday, December 22, 2013

ගෝනි බිල්ලා

පහු ගිය සති කීපයේ අන්තර්ජාලයේ වෙච්ච වැදගත් කතිකාවක් තමයි මොරටුවේ නිකාබ් සිද්ධිය. මේ ප්‍රශ්නය බ්ලොග් අවකාශයට අළුත් වුණාට බඩාට නම් අළුත් එකක් නෙවෙයි. මොකද මේ සම්බන්ධව රසවත් කතා වෛද්‍ය විද්‍යාලය පැත්තෙන් එමට තියෙන නිසා.

බඩාගේ කණ්ඩායමේ හිටියේ එකම එක මුස්ලිම් ශිෂ්‍යාවයි. ඇය හිජාබ් ඇන්ද බවක් වත් මතකයක් නැහැ. කොටින්ම ඇය මුස්ලිම් කියල අඳුන ගන්නෙත් නමෙන් විතරයි. අපේ සිංහල කෙල්ලන් බොහොමයකට වඩා ලස්සනට, ව්‍යාකරණානුකූලව සිංහලෙනුත් කතා කරන්න අයට හැකියාව තිබුණා.

නමුත් කණිෂ්ඨ කණ්ඩායම් වල නම් මේ ලෝගුව ඇඳගත්තු කීප දෙනෙක් හිටියා. මේ සිද්ධිය වෙන්නේ අන්න ඒ අයගෙන් කෙනෙක් සම්බන්ධව. ඒ දවස් වල බඩා හිටියේ ළමා වාටුව පැත්තේ, අවසන් වසර සායනික පන්ති වල. කණිෂ්ඨ කණ්ඩායම් සඳහා වන පළමු සායනික පන්ති වලට යොමු කරවීමේ වැඩසටහනකට අදාලව ඒ සිසු-සිසුවියනුත් පැමිණ සිටියා. මේ අතර හිටියා ලෝගුව ඇඳගත්තු කෙනෙක්. ළමුන් සමග කතා කර "රැපෝ" (rapport) එක හදා ගැනීම ළමයකුගේ රෝගයකට ප්‍රතිකාර කිරීමේදී වැදගත් වෙනවා. අපේ අදාල ලෝගුදාරී සිසුවියත් ළමයෙකුට ලං වුණා. මේ ශිෂ්‍යාව නිකාබ් ඇඳගෙන සිටියේ. අපිට ඒක ලොකු ප්‍රශනයක් නොවුනට ළමයා ට නම් ප්‍රශ්නයක් වෙලා! "බිල්ලෙක්! බිල්ලෙක්!" කිය කිය මහ සද්දෙට ළමයා අඬනවා. එකෙක් අඬන්න ගත්තම වාටුවම නළාව ගහන්න ගන්න එක ළමා වාට්ටු වල සිරිතක්. එදත් එහෙම වුණා! අන්තිමට ෆර්දාව ගලවලා රෝග විස්තර අහන්න අදාල සිසුවියට සිද්ධ වුණා.

දෙවැනි සිද්ධිය වෙන්නේ බඩා වෛද්‍යවරයෙක් විදියට සෙවය කරද්දී. තවත් කණිෂ්ඨ කණ්ඩායමක මේ විදියම වෛද්‍යවරියක් හිටියා. මේ අය ආවේ විභාගයක් සඳහා රෝගීන් පරීක්ෂා කර පුරුද්ද ලබා ගැනීමට. ඇය ඇන්දේත් නිකාබය. මේ වගේ වෙලාවට විභාග වලට ගන්න විදියෙ රෝගීන් අපි ලැයිස්තුගත කරලා තියෙනවා පිටින් එන වෛද්‍යවරුන්ගේ පහසුවට. මෙයින් එක් රෝගියෙක් පෙර කී වෛද්‍යවරියට ඔහුව පරීක්ෂා කරන්න ඉඩ දුන්නේ නෑ. "ලෝගුව ඇඳගෙන මෙතෙන්ට සිය ගාණක් එනවා. දොස්තර කවුද, බිල්ලා කවුද කියල මම කොහොමද දන්නේ?" රෝග්යාගේ ප්‍රතිචාරය වුණේ ඒක.

මේ සිද්ධි වෙනකොට අදාල අංශවල මුස්ලිම් වෛද්‍යවරු සහ මහාචාර්යතුමලා පවා සිටියා. ඒත් අපේ සමහර අන්තර්ජාල වීරයෝ වගේ එතුමලා රෙදි උස්සන් කෑ ගැහුවේ නැහැ. "රෝගියාගේ අයිතිය පරම අයිතිය" නිසා මුහුණු වැසුම් පාවිච්චි නොකර සිටීම වඩා යෝග්‍ය බව ඔවුන් කලකට පෙර නිර්දේශ කරනු ලබුවා.

Sunday, December 8, 2013

දඩයමේ යනවද?

මේ කතාව සිද්ධ වෙන්නේ බඩා මාමා වෛද්‍ය පීඨයේ දෙවැනි වසරේ සිටියදී. කොළඹ වෛද්‍ය පීඨයේ ඒ දවස් වල ක්‍රියාත්මක වුණේ අළුත්ම විෂය මාලාවක්. මේ වෙනස නිසා අනෙක් පීඨ වල වගේ තුන්වෙනි වසර වෙනකම් ඉන්නේ නැතුව අපට දෙවැනි වසරේ ඉඳන්ම සායනික පන්ති වලට සහභාගි වෙන්න සිද්ධ වුණා. සායනික පන්ති උදෙසා බඩාගේ බැච් එක කණ්ඩායම් 14කට බෙදුවා. බඩා හිටියේ 13 වෙනි කණ්ඩායමේ. මුලින්ම පටන් ගත්තේ ශල්‍ය වෛද්‍ය විද්‍යා පන්තියක්.

බඩා ගේ කණ්ඩායමේ සිසුවියන් කිහිප දෙනෙක් හිටියා. එයින් බොහොමයක් දෙනා ශරීරයෙන් කුඩා, ඒත් කට සැර (බෝම්බ ගහන්නා වාගේ!) කෙල්ලෝ ටිකක්. මුල්ම සතියේදීම අපට සිද්ධ වුණා හයිඩ්‍රෝසීල් (hydrocele) එකක් එහෙම නැත්නම් වෘෂණ කෝෂයේ වතුර ගෙඩියක් ඇති රෝගියෙක් පරීක්ෂා කරන්න. විශේෂඥ වෛද්‍යතුමා රෝගියාගෙන් විස්තර අහන්නේ අපට ඒ ගැන විමසිල්ලෙන් අහගෙන ඉන්න කියලයි. කොහොම කොහොම හරි රෝග විස්තරය අවසන් වුනා. 

ඊලඟට එළඹෙන්නේ පරීක්ෂා කිරීම. ඒකත් පියවරෙන් පියවර එතුමා පැහැදිලි කරනවා. හදිසියේම රෝගියාගේ ශිෂ්ණයේ සුවවෙච්ච තුවාලයක් දැකපු වෛද්‍යතුමා කටහඬ බොහොම බාල කරලා අහනවා "සීයා, දඩයමේ ගියාද?" කියල. සීයත් ඔළුව වනනවා. බඩාට, කොටියට, කොණ්ඩයට එහෙම මේක ලේසියෙන්ම මීටරේට වැටුණට කෙල්ලන්ගෙන් බහුතරයකට එහෙම වුණේ නෑ. පන්තිය අවසානයේ එක කොට ජීවිත කෙල්ලෙක් අහනවා "බඩා, අර දඩයමේ යනවා කියන්නේ මොකද්ද?" කියල. බඩාත් ඉතින් පැහැදිලි කරලා දුන්නා විස්තර ඇතුවම.

ඊලඟ දවසේ අර කෙල්ල රෝගියෙක්ගෙන් විස්තර අහනවා, රෝගියාගේ ඇඳ ගාව ඉඳගෙන. කට සද්ද නිසා අහන ප්‍රශ්න අනික් අයටත් ඇහෙනවා. එක සැරේම අපට ඇහෙනවා "ආ, දඩයමේ යනවද?" කියල. ලෙඩා ඇඹරෙනවා, අපි බඩවල් අල්ලන් හිනා වෙනවා!

Saturday, November 23, 2013

Referral

වෛද්‍යවරුන් අතර තියෙන සිරිතක් තමයි තම විෂය පථයෙන් එහා ගිය ප්‍රශ්නයක් රෝගියෙකුට තියෙනකොට, ඒ ප්‍රශ්නය විසඳන්නට හැකි වෛද්‍යවරයෙකු වෙත රෝගියා යොමු කරන එක. මේකට යොමුව නැත්නම් referral එකක් කියල කියනවා. උදාහරණයක් විදියට බඩා ප්‍රතිකාර කරන වකුගඩු රෝගියෙකුට කකුලේ සැරව ගෙඩියක් මතු වීමක් වුණොත් ඒ රෝගියාව ශල්‍ය වෛද්‍යවරයකු වෙත යොමු කරනවා. ඔන්න පහතින් තියෙන්නේ බඩා ඒ විදියට විශේෂඥ වාහිණික ශල්‍ය වෛද්‍යතුමෙකුට ලියාපු යොමුවක්. මේ යොමු තනිකරම රාජකාරි මට්ටමෙන් කෙරෙන ඒවා බව පැහැදිලි වෙන්න ඕන.



සුද්දන්ට තෙල බෙදන්න ගිහින් අනා ගැනීම කල මහාචාර්යතුමා කට්ටියට මතක ඇති. එතුමාට හිටියා ගෝලයෝ දෙන්නෙක්. එක්කෙනෙක් ආන්ත්‍රික ශල්‍යකර්ම ගැනත්, අනෙකා ගුදමාර්ගය සහ අධෝ මුඛය සම්බන්ධ රෝග වලත් ශල්‍ය
විශේෂඥයින් හා පසුව මහාචාර්යවරුන් බවත් පත් වුණා. ආන්ත්‍රික රෝග ගැන උනන්දු වුණේ G. අනෙක් කෙනා D. මහාචාර්යතුමා හෙණම සීරියස් වුණාට ගෝලයෝ දෙන්නා නම් ජොලියට බර සොමි පොරවල් දෙකක්. එක දවසක් අධෝ මාර්ගයේ නිදන්ගත සැරව ගෙඩියක් තියෙන රෝගියෙක් වෛද්‍ය G ගාවට එනවා. තම මිත්‍රයා මේ පිලිබඳ උන්දු නිසා ඔහු මිත්‍රයාට මෙහෙම ලියනවා.

Dr. D,
Consultant Surgeon,
Ado machan D,
Here is a puk case for you. See and take over.
Thanks
G

හැබැයි මේ ලියමන නොසිතූ විදියට මහාචාර්යතුමා අතට පත් වෙනවා. දෙන්නම කන් ඈත් වෙන්නම අහගත්ත බවයි තතු දන්නෝ පවසන්නේ

Friday, November 22, 2013

ලොක්කා අවුල් නෑ

රාජකීය විද්‍යාලය කියන්නේ මහ විසාල ගොඩනැගිලි සංකීර්ණයක්. දහය වසරේ පන්ති තිබුණේ වෙනම ගොඩනැගිල්ලක. මේ ගොඩනැගිල්ලේ තට්ටු තුනට විද්‍යාගාර තුනක් තිබිල තියෙනවා. ඒත් 1992 වෙද්දී ඒවා එතනින් අයින් කරලා ඒ කාමර වලත් පන්ති. බඩා හිටපු 10 වසරේ පන්තියත් ඒ වගේ එකක්. විද්‍යාගාරයක් නිසා පන්ති කාමරය මහා විසාලයි. ඩෙස්ක්, පුටු, ගුරු මේස ඈ ආදිය  ඇති තරම් ඉඩ අරන් තිබ්බත් පන්තියේ තුනෙන් දෙකක ඉඩ. මේ දැවන්ත පන්තිය නිසා විභාග වලදී නම් කොපි කිරීම පහසු වුනේ නෑ.

කොච්චර සත්තු වගේ වුණත්, පන්තියේ කොල්ලෝ බුද්ධ රූපයක් පන්තියේ තියල මල් පහන් තියන්න අමතක කලේ නෑ. බෞද්ධයෝ එහෙම නම් අපි සෙකන්ඩ් වෙන්නේ මොටද කියන්නා වාගේ පන්තියේ හිටපු ක්‍රිස්තියානි සිසුන් සුරුවමක් ගෙනල්ල පන්තියේ එල්ලුවා. ඒ දවස් වල බඩාගේ පන්තියට කියන්නේ මුස්ලිම් කොන්ග්‍රස් එක කියල. මොකද මුස්ලිම් සිසුන් දහයක් විතර, ඒ කියන්නේ පන්තියෙන් 25% විතර හිටියා. ඒ අය පිළිම වඳින්නේ නැති නිසා උන් ටික නම් මොකුත් ගෙනත් එල්ලුවේ නෑ.

පන්තියේ තියෙන මේ දැවන්ත ඉඩ පාවිච්චි වෙන්නේ එක්කෝ ටැප් රගර්, එහෙම නැත්නම් වන් බවුන්ස් කියන සෙල්ලම් වලට. ටැප් රගර් කියන්නේ රගර් වගේම් ක්‍රීඩාවක්, හැබැයි කකුල් මාට්ටු (ටැකල්) දැමිලි කරනෙන නෑ. පන්දුව ගෙනියන කෙනාට පොඩි තට්ටුවක් දැම්මොත් පන්දුව අත අරින්න ඕන. තට්ටුව නොවැටෙන්න පාස් කරන එක තමයි සෙල්ලම. වන් බවුන්ස් කියන්නේ ක්‍රිකට්ම තමයි ඒත් පන්දුව පොළොවේ එක වරක් හෝ ඊට අඩුවෙන් වැදිල එද්දී ඇල්ලුවොත් දැවී යනවා. බිත්ති සහ වහළට මේක වාර දෙකක් වෙනවා. ලේසි වගේ පෙණුනට මේක ලේසි නෑ. පන්දු රකින්නෝ අතරින් හයියෙන් ගහන්න ඕන. එහෙම නැත්නම් ඩෙඩ් බැට් කරල කකුල් ලඟම වැටෙන්න සලස්වන්න ඕන.

අපේ පන්තියේ හිටි ප්‍රගියා තමයි සුර්වම එල්ලුවේ. මූ හෙනම දේව භක්තිකයා. හැබැයි වන් බවුන්ස් උණක් මූට තිබුණේ. ප්‍රගියා එවපු පන්දුවකට බඩා වැරෙන් පාරක් එල්ල කලාම ඒක ගිහින් සුරුවමේ වැදුනේ හෙණ ගහන්නා වගේ. වෙච්ච දේට බඩාට හොඳටම අවුල්. සුරුවම ගාවට දුවගෙන ගිය ප්‍රගියා දණ ගහගෙන යාච්ඥා කරන්න ගත්තා. වැඩේ කෙළ වුනා කියලයි කට්ටියම හිතුවේ. විනාඩියකින් විතරනැගිටපු ප්‍රගියා, "අඩෝ බඩා, මොනවද බලන් ඉන්නේ, බැට් කරපං. මම සමාව ගත්තා, ලොක්කගේ අවුලක් නෑ මචන්!

ඔන්න ප්‍රගියගේ දේව භක්තිය සහ වන් බවුන්ස් උන්මාදය!

Wednesday, November 20, 2013

පෙට්ටිය කැඩුණොත් . . .


හැම පාසලකම කලා සංගමයක් තියෙනවා. රාජකීය විද්‍යාලයේත් ඒ වගේමයි. මේ සංගමය 1990 ගණන වල මැද හරියේදී තිබුණේ බොහොම උසස් මට්ටමක බව බෝහෝ දෙනාගේ මතය වුණා. සිංහල සාහිත්‍ය දිනය සහ කලා උළෙල කියන උත්සව දෙක තමයි සිසුන්ගේ දක්ෂතා එළි දක්වන්න තියෙන අවස්ථා. ඒ නිසාම මේ උත්සව ජයට පැවත්වුනා. ඒ වගේම පාසලේ නම නිසාම බොහෝ ආධාර උපකාර ලැබුණු නිසා කලා උළෙල ගත්තේ මංගල සිරියක්. මේ කළා උළෙලට වෙනත් පාසල් වලටත් අංග ඉදිරිපත් කරන්න ලැබෙනවා. උත්සවය වර්ණවත් වෙන්නේ බාලිකා පාසල් වල අංග වලින්.

ඔය විදියට තියපු කලා උළෙලක ප්‍රධාන ආරාධිතයා වුනේ සුප්‍රකට, ගීත ලියන, සිංහල පිළිබඳ මහාචාර්යතුමෙක්. ඒ දවස් වල නම් එතුමා ජ්‍යේෂ්ට කථිකාචාර්ය කෙනෙක් වෙන්න ඕන. අවිවාහකව සිටි මෙතුමා කාන්තාවන් දැලේ දමා ගැනීමට ප්‍රකට පුද්ගලයෙක්.

ප්‍රකට බාලිකා පාසලකින් අංගයක් ඉදිරිපත් වුණේ මේ අතර. රතු හැට්ටකාරී නාට්‍යයේ "දීකිරි දීකිරි" ගීතය තමයි ඉදිරිපත් වුණේ. එක්කෝ ෂෝ එකට, එහෙම නැත්නම් ඒ ළමයාගේ හැටිද මන්දා මේ කෙල්ල පුදුම නැටවීමක් නටවන්නේ. අනුලා බුලත්සිංහල මහත්මිය ඒ නැටවිල්ල දැක්ක නම් කලන්තේ දානවා! අංගය තවත් රසවත් කිරීමටද කොහෙද, අර කෙල්ල වේදිකාවෙන් බැහැලා අපේ මහාචාර්යතුමා ඉදිරියෙත් රඟනවා.

"අත මගෙ වෙවුලයි - දෙපා රුදාවයි
රෑ වෙන්නට පෙර - නිවසට යන්නයි
පනමේ කිරි ගෙන - පිහිටක් වන්නයි"

කියල ගීතය යනවා. ඊලඟ පදය වෙන්නේ "මුට්ටිය බිඳුණොත් ඔක්කොම ඉවරයි" කියන එක. මේ නැටුම බලන් හිටි බඩා සහ මිතුරන් කීප දෙනෙක් මූණට මූණ බලා ගත්තා. අර අන්තිම පදයට එනකොටම කට්ටිය මහ හඬින් එකාවන්ව කියාපි "පෙට්ටිය කැඩුණොත් - ඔක්කොම ඉවරයි" කියල.

කෙල්ලට උන්හිටි තැන් අමතක වෙච්චි! මහාචාර්යතුමා පස්ස බල බලා කියපු එවුන් හොයනවා. විදුහල්පතිගේ මූණට අබ දැම්මොත් එව්ව පුපුරන්නේ ග්‍රෙනේඩ් වගේ. සිංහල ගුරුතුමා පැලෙන්න ඔන්න මෙන්න. හැබැයි බලන්න ආපු බහුතරයකට බඩ අල්ලන් හිනා!

Wednesday, November 6, 2013

බෝඩ් ගහගන්න

මේ කතාවත් මහාචාර්ය කතන්දරයක්. මීට කලින් හොස්ටල් රවුන්ඩ්ස් කරන්න ගිහින්, කොටු පැනලා සහ සුද්දන්ට තෙල බෙදන්න ගිහින් ඇදගෙන නාගත්තු මහචාර්යතුමාලා ගැන බඩා ලිවුවා මතක ඇති. මේ මහාචාර්යතුමාත් ඉතාම ප්‍රසිද්ධ තුමෙක්. කොටින්ම තමන්ගේ විෂයය ගැන අසියාවේම ඉන්න නොම්මර එකේ විද්වතෙක්. හබැයි මළ පැනීම සුපිරියි. මේ මහාචාර්යතුමාට තද වුණාම වෙන්නේ ගෙම්බෙක් පිම්බෙනවා වගේ මූණ පිම්බෙන එක. ඔන්න මෙන්න පුපුරන ගානට මූණ පිම්බෙනවා.

දවසක් අපේ මහාචාර්යතුමා කඩිසර ගමනින් රෝහලේ කොරිඩෝවක් දිගේ යද්දී ටිකක් උස මහත මිනිහෙක්ගේ ඇඟේ හැපෙනවා. ටිකක් රිදුණ නිසාත්, කල්පනා කරමින් ගිය සිතිවිලි දාමය බිඳී යාම නිසාත් මහාචාර්යතුමා යක්ෂාවේශ වෙනවා.
"ඔහේ මොකඩ්ක ඇඟේ හැපෙන්නේ?" මහාචාර්යතුමා අහනවා. උඩ බලාගෙන ගියේ මහාචාර්යතුමා වුණාට අර මනුස්සයා යටහත් පහත්ව කියනවා "සමාවෙන්න මහත්මයා" කියල.
"තමුසේ දන්නවද, මම තමයි මහාචාර්ය ....... එහෙම ඇඟේ හැපෙන්න බෑ" මහාචාර්යතුමා ගුගුරනවා.
ආයෙත් පොඩ්ඩක් නැමිලා එහෙම අර මනුස්සයා කියනවා "සමාවෙන්න සර්, මම දන්නේ නෑ නෙ. ඊලඟ දවසේ ඔබතුමා නම ගහල බෝඩ් එකක් පිටේ එල්ලන් යන්න. මම එතකොට අයින් වෙලා යන්නම්" කියල. මහාචාර්යතුමා ගෙම්බෙක් වගේ පිම්බෙනවා, හොරෙන් බලා ඉන්න අපේ බඩවල් කොර වෙනවා හිනා වෙලා!

Sunday, November 3, 2013

සුද්ද නිසා බේරුණා

මේ කතාව සිද්ධ වෙන්නේ 2001 අවුරුද්දේ. ඒ වෙනකොට අපි හතර වන වසර ශිෂ්‍යයෝ. මේ සිද්ධියට පාදක වෙන්නේ අපේ ජ්‍යේෂ්ඨ කණ්ඩායම, මහාචාර්ය සායනික ඒකක වල වැඩ කරපු කාලය. මහාචාර්ය ඒකක වල ප්‍රධානියා බොහෝ විට ජ්‍යේෂ්ඨ මහාචාර්යවරයෙක් බව ඔබ දන්නවා ඇති. මේ මහාචාර්ය තුමාත් එහෙමයි. උසස් පාසලකින් ඉගෙන ගත්තු, උසට සරිලන මහත තියෙන බොහොම තේජවන්ත මහාචාර්යතුමෙක්. තරුණ කාලයේදී වෙඩි උණ්ඩ වගේ වේගයෙන් පන්දු යවන්න පුළුවන් වූ බවටත් ප්‍රසිද්ධයි. ඒ වගේම තමන්ගේ විෂයයේ ලෝක පූජිත මහචාර්යතුමෙක්. මේ නිසාම දේශීය සිසුන් විතරක් නෙවෙයි, කෙටි කාලීන අධ්‍යාපන පැවරුම් (clinical appointments) සඳහා විදේශීය සිසුන් පවා මහාචාර්යතුමා ගාවට එනවා. බොහෝ මහැදුරන් වගේම මෙතුමාටත් ඉතාම තදින් කේන්ති යන කෙනෙක්. ඒ වගෙම තමන් ඉතා කැපවීමෙන් වැඩ කරන නිසා සියළු  දෙනාගෙන්ම ඒ ආකාරයේ වැඩ කිරීමකුත් එතුමා බලාපොරොත්තු වුණා.

මහාචාර්ය ඒකකයක සාමාන්‍යයෙන් සිසුන් 25ක පමණ කණ්ඩායමක් ඉන්නවා. මේ අතරට සුද්දෝ පස් දෙනෙකුත් ඉන්නවා. වෝඩ් රවුන්ඩ් කරද්දී මහැදුරු තුමා පිටිපස්සෙන් මහ සෙනගක්  එනවා. කලින් කතාවකත් කියලා තියෙන විදියට අපි රෝගීන්ගේ රෝග ඉතිහාසය, ඔවුන් පරීක්ෂා කිරීම සහ වෙනත් අදාල කරුණු සටහන් කරගෙන වෝඩ් රවුන්ඩ් එකට ලෑස්තියෙන් ඉන්න ඕන. කොහොමෙන් කොහොමෙන් හරි, මේ විදියට ලෑස්ති නොවූ කෙනෙක්ව මහැදුරුතුමා අතටම අල්ලා ගත්තා. එහෙම කරගත්තම නිකම් ඉන්නේ නෑ, මිනිත්තු පහළොවක් විතර ලුණු ඇඹුල් ඇතුව අහගන්නත් සිද්ධ වුණා. තමන් කරපු වැඩේ හරි බව අපට පෙන්නනත් එක්ක මහැදුරුතුමා සුද්දන්ගෙන් අහනවා "What will your Professor do if you've done something like this?" (මෙහෙම වැඩ නොකරන කෙනෙක් අහු වුණොත්, ඔයගොල්ලන්ගේ මහාචාර්
තුමා කරන්නේ මොනවද?) කියල. 

කිණ්ඩි හිනාවක් මූණට දාගත්තු සුද්දා කියාපි "He will utilize that quarter an hour to teach rather than wasting on scolding (ඔය බණින්න නාස්ති කල පැය කාලෙත් ඔහු අපට උගන්නාවි)  කියල. අපේ මහැදුරුතුමාට මළ පැණගෙන එන කොට නහයේ කොණ රෝස පාට වෙලා කන් දෙකත් රෝස පාට වෙනවා. එදා තිබුණු පැහැය වඩා කිට්ටු බීට් අලයකට කිව්වොත් වඩා නිවැරදියි. ඔළුව්ට උඩින් දුම් විසිවෙන්න ඔන්න මෙන්න ගානට තද වෙලා. කවදාවත් සිසුන් එක්ක ඉංග්‍රීසියෙන් ඇරෙන්න වෙන භාෂාවකින් කතා නොකරන මහැදුරුතුමා අපේ යාළුවා දිහාවට හැරිලා කියනවලු "මතක තියා ගණින්, උඹ සුද්ද නිසා බේරුණා කියල"

Saturday, November 2, 2013

කොයි පකද? (18+ )


කතන්දර කාරයා විසින් පුක යනු කුණු හරුපයන් නොවෙන බව අති සාර්ථක විදියට ඔප්පු කළා. ඒ අතරම "පයිය" යැනු පැසට කියන තවත් නමක් විනා කුණු හරුපයක් නොවෙන වග කෝරලේ මහත්මයා විසින් මෑතකදී අති සර්ථකව ඔප්පු කරන ලැබුවා. අද බඩා මාමා පෙන්නන්න යන්නේ "පක" කියන්නෙත් කුණු හරුපයක් නොවෙන වග. මේකට අදාල කර ගන්නෙත් පරණ කතාවක්මයි.

සාමාන්‍ය පෙළ සිංහල පන්තියකට බඩා ගියේ මාස කීපයක් විතරයි. ඒ කාලයේදී, (1992 දී හරිද?) වෙච්ච කතාවක් තමයි මේ. බඩා ගේ සිංහල පන්තිය කුඩා පන්තියක්. අර ගොඩක් පන්ති වල වගේ පිරිමි ළමුන්, ගැහැණු ලමුන් දෙපැත්තෙන් ඉඳ ගන්න ගතිය මේ පන්තියේ තිබුණේ නෑ. ඔක්කොම ඉඳ ගත්තේ එක ගොඩේ. මේ නිසා බොහොම කිට්ටු සම්බන්ධයක් සිසුන් අතර තිබුණා. ඒ නිසාම පන්තියේ දෙන කුඩා විවේකයේදී ගේන කෑම එහෙම බෙදා ගෙන කන්නත් පුරුදු වෙලා හිටියා. 

එක දවසක් ගුරුතුමා අපට ඉගන්නුවේ "මිනර්වා" නාට්‍ය ශෛලිය ගැන. මිනර්වා ශෛලියේ එක ලක්ෂණයක් තමයි ලිඛිත භාෂාව නාට්‍යයට භාවිතා කර ගැනීම. ඒ නිසා එදා අපි කතා කළේ "මිනර්වා" ශෛලියෙන්. "උඹ ගෙදර ගියාද?" කියන එක මිනර්වා ශෛලියෙන් අහන්නේ "ඔබ නිවෙසට සපැමිණියාද?" කියලයි. කරුමෙට වගේ එදා බඩා ගාව තිබුනේ අඹ ගෙඩියක්. බඩා ගේ සමීප මිත්‍රයා ගාව තිබුනෙත් එහෙම එකක්. බඩා ලඟ හිටපු කෙල්ලෙක්ගෙන් ඇහුවා "සොයුරිය, නුඹට අවැසි ඔහු අත ඇති පකද? මා අත ඇති පකද?" (ඒ වෙලාවේ අපි දෙන්නගෙන් කවුරුවත්ම සාක්කුවේ අත් දාගෙන නම් හිටියේ නෑ!). නොහිතූ විදියට අපේ මිතුරිය "ඩිම්" වෙලා ගිහින් මේ අවනඩුව ගුරුතුමට කියා සිටියා. 

තුන්දෙනාම එක තැනකට කතා කරපු ගුරුතුමා මුලින්ම කතා කළේ කෙල්ලට. 

"ළමයා "පක්" කියල කියන්නේ ගෙඩි වලට. "තිබෙන ඇත්දළ පමණ පක් ඇති කෙහෙල් කැන ය" කියල බුත්සරණේ තියෙනව. "ඉක්බිති නුග පක් සමූහයක් වැනි වු දෝ හෝ නො ‍හොත් බඳු වද මල් ඇති රියක් වැනි වු සුගත් පොරෝනා සිවුර රත් පළසකින් ඇත් කුඹක් වසන්නාක්හු මෙන්" කියල සද්ධර්මරත්නාවලියේ තියෙනවා.  ඒක සිංහල වචනයක්. හිතේ කුනු තියා ගත්තම ඔහොම වෙනවා" එහෙම කියල කෙල්ලව එළවලා දැම්මා. 

අපි දිහාවට හැරුණු ගුරුතුමා "තොපේ කුණු කටවල් මම දන්නවා. මේ සැරේ බේරුණා කියල මතක තියා ගනිල්ලා" කියල එලවලා දැම්ම මිසක කිසිම දඬුවමක් ලබා දුන්නේ නෑ.

Sunday, September 22, 2013

මාමා

වෛද්‍ය විද්‍යාලයේ  විභාග වලින් අසමත් වෙලා පහළ වසර වලට සිසුන් එක් වෙන එක ඒ තරම් දුර්ලභ දෙයක් නෙවෙයි. බඩා ගේ කණ්ඩායම නම් මේ අතින් කප් ගහපු කණ්ඩායමක්. පළමු වසර විභාගයෙන් 17ක් "බැච් මිස්" වෙලා තියපු වාර්තාව අද වෙන තුරුත් කඩලා නෑ. මෙහෙම ලොකු ගානක් බැච් මිස් වුණාට ඉහළ වසර වලින් බැච් මිස් වෙලා අපේ කණ්ඩායමට ආවේ බොහොම සීමිත ප්‍රමාණයක්. මෙන්න මේ සීමිත කණ්ඩායමෙන් එකෙක් තමයි "මාමා"

මාමා සද්ද බද්ද නැති, වැඩිය කතා නොකරන, බොහොම නිශ්ශබ්ද කෙනෙක්. දුප්පත් පවුලක ඉපදිලා, බොහොම අමාරුවෙන් උසස් පෙළ සමත් වෙලා මාමා වෛද්‍ය පීඨයට ආවේ. එතනදීත් මාමාට ආවේ අභියෝගම තමයි.

මාමා එක්ක නිතරම පැටලෙන මනුස්සයා තමයි රත්නයා. රත්නයා ගෙඩි පිටින් දකුණේ එකෙක්. කතා කරන්නේත් ඒ තාලෙටමයි. බඩාට රත්නයා සෙට් වුණේ විශ්වවිද්‍යාලයට ගිය පළවෙනි දවසෙමයි.

"උඹේ ගෙවල් කොහෙද බන්" කියල බඩා ඇහුවෙ රත්නයාගෙන්.
"මාතර", රත්නයා උත්තර දුන්නෙ කෙටියෙන්. බඩාගේ පියතුමා මාතර තිබුණු රුහුණු සරසවියේ මහැදුරෙක් විදියට සේවය කළ නිසා බඩාට මාතර පුරුදුයි.
"මාතර කොහෙද?" එහෙම ඇහුවේ බඩා.
"මාතර කිට්ටුව, අකුරැස්ස පාරේ" එහෙම කිව්වේ රත්නයා.
"අකුරැස්සෙද ගෙවල්?" එහෙම ඇහුවේ බඩා.
"නෑ, දෙණියායේ" රත්නයා කියාපි. දෙණියාය තියෙන්නේ මාතර ඉඳන් කිලෝමීටර 60ක් දුරින්! මුගේ කතාව මාතර වගේ!

රත්නයාට තියෙන්නේ අන්තිම ජරා කටක්. අපේ කාලේ දැන් වගේ වීඩියෝ ප්‍රක්ෂේපණ යන්ත්‍ර (Video projectors) තිබුණේ නෑ. ඒ නිසා ඕවර් හෙඩ් ප්‍රොජෙක්ටර් (OHP) එකකට ට්‍රාන්ස්පේරන්ට් කොළ දාලා තමයි දේශන වලදී රූප සටහන් ඉදිරිපත් වුණේ. එක්තරා මහාචාර්යතුමියක් අපිට දේශනයක් පවත්වනවා. හැබැයි මැඩම්ගේ රූප සටහන් අන්තිම කැතයි. මේක බලන් ඉන්න රත්නයා කියනවා "නොදෝකිං අර රූප. පොල් අතු ගොඩේ බල්ලො රීල වගේ" රත්නයා ඒක කිව්වේ බොහොම හෙමින්. ඒත් උගේ කරුමෙටම ඒ වෙලාවේ ශාලාවේ තිබුණේ අල්පෙනෙත්තක් බිම වැටුනත් ඇහෙන නිශ්ශබ්දතාවය!

රත්නයා එච්චර උස මහත එකෙක් නෙවෙයි. නමුත් රත්නයා එක්ක සෙට් වෙලා හිටපු කොටියා, බඩා, සමනා, ගිණිකූරා වගේ අය සෑහෙන්න ශක්තිමත් එහෙම නැත්නම් ක්‍රීඩාශීලී ශරීර තියෙන අය. මේ නිසා රත්නයාට පොඩි හිතේ දුකකුත් තිබුණා. ශරීර ශක්තිය වැඩි කරගන්න හවසට හවසට සමපෝෂ කන්න ගත්තේ ඒ හින්දමයි.

නේවාසිකාගාරයේ කට්ටිය රෙදි හෝදන එක කරන්නේ නාන කාමරයේ. හැබැයි මාමා කවදාවත් දවල්ට රෙදි හෝදන්නේ නෑ. රෙදි හෝදන්නේ මහ රෑට. රත්නයා මේකට දීපු පැහැදිලි කිරීම තමයි මාමා සරම කැහැපට ගැහුවම බාවා බිම ගෑවෙන නිසා එහෙම කරනවා කියන එක. කොහොම හරි, මේ දවසේ මාතෘකාව වුණේ මාමාගේ බාවා. රත්නයා මේ ගැන කුණු කතා ලෝකයක් කියනවා, මාමා නෙවෙයි කටක් හොල්ලනේ. හිනා වෙවී අහන් ඉන්නවා. හැබයි ඒක හදිස්සියේම සිදු වුණා! මොකද්ද? මාමා උත්තර දුන්නා! මාමා කට ඇරියම කොන්ක්‍රීට් කණුත් කැපෙනවා කියලා දැන ගත්තේ එදායි. "මට අරව මෙව්ව කිව්වට දන්නවද, ඔය රත්නයා හවසට හවසට සමපෝෂ කන්නේ බාවා ලොකු කර ගන්න" මාමා කිව්වේ ඇඟට පතට නොදැනී.

Friday, August 30, 2013

කවුද බ්‍රේක් ගහන්නේ?

වෛද්‍ය විද්‍යාලයේ අවසන් වසර කියන්නේ බොහොම් දරුණුවට සායනික ක්‍රියාකාරකම් සිදුවන කාලයක්. මේ කාලයේදී අපේ දවසෙන් වැඩි කාලයක් ගෙවෙන්නේ මහාචාර්ය ඒකක වල (ඒ කියන්නේ විශ්වවිද්‍යාල වලින් කෙරෙන වාට්ටු). උදේ හතහමාරට වාට්ටුවට ආවාම, එයින් පිටවෙන්නේ හවස පහ විතර වෙද්දී. සමහර දාර රාත්‍රී කාලයේත් එන්න සිද්ධ වෙනවා. හැබැයි බඩා සහ මිතුරු කැල පිස්සු නටන්න මේ කාලයේත් වෙලාව හොයා ගත්තා.

සිකුරාදා දවසක රාත්‍රියේ මධුවිත සප්පායම් වෙන්න කට්ටිය තීරණය කලා. ස්ථානය වුණේ වැල්ලවත්තේ වෙරළ. බඩා, කොටියා, කලු සමනා, ගිණිකූරා, ඇන්තනීස්, නිගන්ටයා සහ අපේ කලාවට බර කොළුවා මේ ගමනට එක්කහු වුණා. ගමනට තිබුණේ කලු සමනගේ ප්‍රාදේශීය සභා පැජරෝව. කට්ටිය හවස හතට විතර සෙට් වුණා. වෙනදා නම් මෙහෙම පාටියක් රෑ එක දෙක වෙනකම් යනවා. ඒත් ඊලඟ දවසේ සායනික වැඩ වලට යන්න තියෙන නිසා රාත්‍රී දහයට පාටිය අවසන් වුණා. සමනට හොඳටම වැදිලා. කරටිය කඩා වැටෙන්න ඔන්න මෙන්න. අනික් එවුනුත් එහෙමයි. අඩුවෙන්ම වැදිලා හිටියේ හොරට බිවුව බඩාට. අනික් එවුන්ට වාහනය එළවන්න බැරි නිසා බඩාට වාහනය එළවන්න නියම වුණා. බඩාත් අර තඩි පැජරෝව හෙමින් හෙමින් එළවගෙන එනවා. සමනයි, තව කීප දෙනෙකුයි ගොරොද්දේ ඇද ඇද බුදි. හදිස්සියෙන්ම ටවුන් හෝල් එක ගාවදී නින්දෙන් ඇහැරුණු සමනා "මට දීපන් වීල් එක" කියාගෙන බඩාව නතර කලා. හැබයි තවමත් සමනට බමර පදම්, කණ සාක්කුවේ. ඒත් මොනව කරන්න ද, උගේ වාහනේ නෙ! බඩා හෙමින් සැරේ සුක්කානම සමනට දීල පස්සෙන් නැග ගත්තා.

සුක්කානම ගත්ත සමනට වැඩි දුරක් යන්න හම්බ වුණේ නෑ, ඉස්සරහින් ගිය සුඛොපභෝගී කාර් එකක පස්සේ සමනා ඇන්නා. වැරද්ද තනිකරම සමනා අතේ. ඒත් වෙරි මත පිටම "කවුද *ත්තෝ පාර මැද බ්‍රේක් ගහන්නේ?" කියාගෙන මූ බැස්සා. කාර් එකෙන් බැස්සේ අපට හුරු පුරුදු කෙනෙක්. මහාචාර්යවරයෙක් ඒ මදිවට අපි වැඩ කරන ඒකකයේ මහාචාර්ය කෙනෙක්. දැන් මළ හත් ඉලවුවයි. අපේ වෙරි හිඳිලා. සමහර එවුන්ගේ detrusor පේශිය (මූත්‍රාශ පේශිය) නිකම්ම ඇරුණද දන්නෙත් නෑ. දැන් හෙට වෙන්නේ අනිවාර්ය පන්ති තහනමක්. මොකද කන් පාත් වෙන්න බීලා. ඒ මදිවට මහාචාර්ය කෙනෙක්ට *ත්තා කියලත් බැනලා. වාහනයකුත් හප්පගෙන! ඒ මදිවට මහාචාර්යතුමාගේ BMW එකත් කුඩේ කුඩු. 

හෙට වෙන දේ ගැන හිත හිතා අපි නන්නත්තාර වෙලා, බිරන්තට්ටු වෙලා, හොල්මන්ද පොල්කොල වෙලා ඉන්න අතරේ, සමනා එබි එබී මහාචාර්යතුමාගේ වාහනය ඇතුළ බලනවා. අපිත් ඒ ගැන උනන්දු වුණේ එතකොටයි. වාහනේ ඇතුලේ ඉන්නවා ලස්සන කාන්තාවක්. ඒ මහාචාර්ය තුමාගේ බිරිඳ නොවෙන බව නම් අපිට විශ්වාසයි. "සර් කපු වලින් හදාපු මාර කොටුවක් නේද?" කියල සමනා ඇහුවේ එක පාටරම. ඒ පාරට තක්බීර්, නනත්තාර්, බිරන්තට්ස් වෙලා ගියේ මහාචාර්යතුමා. තොල් හරහා හරහට ඇගිල්ල තියලා "ස්...!" කියපු මහාචාර්යතුමා අර පොඩිවෙච්ච කාර් එකේම නැගලා යන්න ගියා. පහු වෙනිදා අපි වාට්ටුවට එන කොටත් අපි ලඟ මධ්‍යසාර ගඳයි. ඒත් ඉතින් මොකුත් ප්‍රශ්නයක් වුණේ නම් නෑ. "ඒකිගේ නම කපුකොටුව. well known ගෙම්බෙක්" සමනා පස්සේ දවසක අපිට කිව්වා.

Monday, July 29, 2013

අන්න බබෝ ඇතින්නියා

බඩා ඇතුළු කණ්ඩායම මගින් කළ අති සාර්ථක නම් තැබීමක් වුණු කොණ්ඩයා ගැන කියවන පිරිසට මතකයි කියල හිතනවා. කොණ්ඩයා යකඩ උස්සලා ඇඟ පුම්බ ගත්තට මොකද කලාවට බර, සින්දු කියන්න පුළුවන් බොහොම මෘදු මනුස්සයෙක්. ඒ කාලේ ඉඳලාම ළමයින්ට දැක්කුවේ පුදුම ලෙන්ගතු කමක්. මේ අපි ළමා වාට්ටුවේ වැඩ කරද්දී වුණු රස කතා කීපයක්.

සාමාන්‍යයෙන් සැත්කමකට කලින් රෝගියෙක්ව පැය හයක් විතර නිරාහාරව තබනවා. වතුර බොන්න දෙන්නෙත් නැහැ. එහෙම කරන්නේ සිහි නැති කරන ඖෂධ වමනයත් ඇති කරවන නිසා අමාශයේ හිස්ව තබා ගැනීම වැදගත්. ඔය විදියට සැත්කමකට මුහුණ දෙන්න හිටපු අවුරුදු හයක විතර පොඩි එකෙක් වාට්ටුවේ හිටියා. හැබැයි මේ පොඩි එකා බත් කන්නේ නෑ. කන්නේ පාන්, රස්ක්ස්, සීරියල් වගේ ජාති විතරයි. බත් කවා ගන්න බැරුව පොඩි එකාගේ අම්මා හිටියේ සෑහෙන්න මුසුප්පුවෙන්. කොහොම හරි දන් කොල්ලා පැය හතක් විතර බඩගින්නේ . කොණ්ඩයා රෝගියා ගැන විස්තර දරුවාගේ මවගෙන් ලබා ගත්තට පස්සේ, බත් නොකන විත්තිය දැන ගත්හ ගමන්, "පුතා බත් හරි රහයිනෙ" කියල කිව්වලු. මේ වෙද්දිම එහා පැත්තේ ඇඳේ දරුවට එයාගේ අම්මා බත් කවනවා. අපෙ මේ කොලුවා අම්මා එහා මෙහා වෙනකම් ඉඳලා එහ පැත්තේ ළමයගේ අම්මගෙන් ඉල්ලගෙන මෙන්න හොඳට බත් කනවා! සැත්කම පමා වෙලා කොණ්ඩයා ජ්‍යෙෂ්ට වෛද්‍යතුමන්ලගෙන් බලු බැණුම් අහපු එක වෙනම දෙයක්, හැබැයි එදා ඉදන් කොල්ලා බත් කන්නේ පොර කකා!

ළමා රෝහලේ 01 වාට්ටුව පිටිපස්සේ ලොකු කළු ගල් ගොඩක් ඒ දවස් වල දාලා තිබුණා. එක ඇඳක ළමයෙක් අඬනවා, අම්මටවත් නළව ගන්න බෑ. කොණ්ඩයාට ලස්සන කටහඬක් හා ගායන හැකියාවක් තියෙනවා. "කෝ දෙන්න, මම කවියක් කියන්නම්" කියල ළමයා නැලවිල්ල කොණ්ඩයා බාර ගත්තා. එතකොට අපිට පේන්වා අර ගල් ගොඩ උඩට නැගපු අතිශය තරබාරු කාන්තාවක් රෙදි වනනවා. කොණ්ඩයා මෙන්න මෙහෙම නැලවිලි ගීතයක් කියනව අර කාන්තාව දිහාවට අත දික්කරගෙන.

"අන්න බබෝ ඇතින්නියා
ගල් ගොඩ උඩ සිටින්නියා
ගලින් ගලට පනින්නියා
පැන පැන රෙදි වනන්නියා"

ළමයා නැලවුණාද කියල නම් බඩාට මතක නැහැ. ඒත් වටේ හිටපු අම්මලා ගේ බඩවල් නෑ හිනා වෙලාම.

Saturday, July 27, 2013

ඡන්දේ

1990 ගණන් වල මැද හරියේ උසස් පෙළ පන්ති වල තිබුන තවත් ලස්සන වැඩක් තමයි පෝස්ටර් ගැහිල්ල. තමන්ගේ ප්‍රතිවාදියෙකුට මඩ සහිත අපහාසාත්මක පෝස්ටරයක් ගහලා විනෝද වීම ඒ දවස් වල බහුලව වෙච්ච වැඩක්. දැන් වගේ මූණු පොතෙන්, අරහෙන් මෙහෙන් කෙනෙක්ගේ ඡායාරූප හොයා ගන්න බැරි කාලෙක මේ පෝස්ටර් වැදුනේ කාගේ හරි ඇල්බම් එකකින් පින්තූරයක් හොරකම් කර ගත්තාම. එහෙම නැත්නම් කියනෙන කවුද කියලා ඇඟවෙන විදියට ලස්සනට වචනයෙන් කියවෙන්න ඕනේ. කවදත් ඔය වගේ වැඩ වලට බඩා එක පයින්. 

පාසැලේ සහ ටියුෂන් පන්ති වල හොඳ නමක් දිනාගෙන හිටපු තක්කාලි බමුණට පෝස්ටරයක් ගහන්න බඩා තීරණය කලේ ඔය අතරෙදී. 1995 කියන කාලේ පරිගණක තිබුණේ බොහොම අඩුවෙන්. බඩාට නම් පරිගණකයක් තිබුණ වගේ කොරල් ඩ්‍රෝ 4 කියන උපාංගයත් ඒ දවස් වල තිබුණා. මේ නිසා පත්තරේ ගිය කාටූනයක් වෙනස් කරලා පෝස්ටරයට ඇතුළු කරලා බොහොම ලස්සනට මුද්‍රිතවම වැඩේ සිද්ධ කලා. ඒ දවස් වල මහ මැතිවරණයක් තිබුණ වගේ මතකයි. ඒ නිසාම මැතිවරණ පොරොන්දු පත්‍රිකාවක් විදියටයි පෝස්ටරය් නිමැවුණේ. මේ පෝස්ටරය එළි දැක්වුණේ ග්‍රේරෝ ගුරුතුමාගේ පන්තියේදී. බමුණත් ඒ පන්තියට එන බව කියන්න ඕන නෑ නේ! කොහොමෙන් කොහොමෙන් හරි බමුණට ඇඬෙන්නම පෝස්ටරය නැගලා ගියා. 

පෝස්ටරයේ විහිළු හුවමාරු වෙන අතර වාක්‍යනාදන් අහනවා "සර් ඡන්දෙ ඉල්ලන්නේ නැත්ද?" කියල. වාක්‍යනාදන් කවදත් දෙන්නේ කරමල් කැඩෙන වාක්‍යම බව මතක ඇතිනේ. ඔන්න ඉතින් ගේරෝ ගුරුතුමා පටන් ගන්නවා චූර්ණිකාව. 
"අපෝ කවදාවත්ම නෑ! මොකද දන්නවද? ළමයි මම ඡන්දේ ඉල්ලුවොත් මට මේ රස්සාව දාල මන්ත්‍රී පඩියක් විතරක් ගන්න වෙනවා". 
කොල්ලෝ "සූ!" ගානවා. 
"ළමයි, මට මගේ බෙන්ස් එක විකුණලා මයිනර් එකක් ගන්න වෙනවා. මොකද මම ආදර්ශමත් නායකයෙක් වෙන්න ඕනෙනේ?" සූව තවත් වැඩියි! 
"ඒ වගෙම මට දැන් ඉන්න ගෙයින් අයින් වෙලා මන්ත්‍රී නිවාසෙක අඩු පහසුකම් යටතේ ඉන්න වෙනවා". සූව තවත් දරුණුයි. 
"එහෙම කළොත් ළමයි මට මායියගෙන් ජල ගුටි තමා". 

මීට කලින් වතාවක කිං කොං කියලා බඩාව චාටර් කරපු එක බඩා මතක තියාගෙන හිටියේ ගලේ කොටපු අකුරක් වගේ. අර අන්තිම ප්‍රකාශය එක්කම පොළීත් එක්ක දෙන්න නියම අවස්ථාවක් බව වැටහෙන්න බඩාට ගියේ තත්පරයෙන් දහයෙන් පංගුවයි. 
"සර්, දැනුයි කියල වෙනසක් නෑ නේද?" කියල බඩා ඇහුවෙ පන්තිය මීයට පිම්බ වගේ නිශ්ශබ්ද වෙනකම් ඉදල. කොල්ලෝ කෙල්ලෝ බඩවල් අල්ල ගෙන හිනා. ග්‍රේරෝ ගුරුතුමා අත උස්සගෙනම ඊලඟ ගණන හදන්න පටන් ගත්තා!

(අපිට මුලින් දීපු පොරොන්දුව කඩ කරමින් පස්සෙ කාලෙක ග්‍රේරෝ මහත්මයා දේශපාලනයට ආවා)

Thursday, July 25, 2013

නම් තැබීම

ලංකාවේ විශ්වවිද්‍යාල කියන්නේ උප සංස්කෘතියක්. මේ උප සංස්කෘතිය ඇතුලේ සමාජයීය, පුද්ගලික සහ භාෂාමය වෙනස්කම් පවා තිබෙනවා. ඒ වගේම විශ්වවිද්‍යාලයෙන් විශ්ව විද්‍යාලයට, සහ එකම විශ්වවිද්‍යාලයේ පීඨ අතර පවා මේ වෙනස්කම් තියෙනවා. පළමු වසරට සිසුන් ඇතුලත් උණාම ලබා දෙන "කාඩ්" එක එහෙම නැත්නම් අන්වර්ථ නාමය ඒ වගේ එකක්. පේරාදෙණියේදී නම් පළමුවෙනි වසරේදීම මේ නම් ලබා දෙනවා. පෙනුම, කතා විලාසය, නම, ගම වගේ දේවල් පදනම් කරගෙනයි මේ නම් වටෙන්නේ. බඩාගේ සමාන්තර වෛද්‍ය පීඨ කණ්ඩායමේ මේ විදියට තෙලා, පරතරයා, බ්‍රහ්මදත්ත, චව්වා, ටිකිරා වගේ නම් තියෙන අය හිටියා. ඒ අතරම රයි පාල, බයි පාස්, කයි පාල, කොයි පාටියා වගේ නමුත් තිබුණ!

හැබැයි කොළඹ වෛද්‍ය පීඨයේ කාඩ් වදින්නේ කාලයත් එක්ක. දැනටමත් කොටියා, ජොරා, මීයා, බල්ලා, පාප ලාල් ගැන එහෙම දැනටමත් දන්නව ඇති. පුදුමෙ කියන්නේ ඇනාට කාඩ් එකක් වැදුනේ නැති එක. අනික් අතට ඇනා කිවුවම ආයේ කාඩ් මොකටද කියලත් හිතෙනව.

ඔන්න අපේ කණ්ඩායමේ හිටියා එකම නම තියෙන සෙට් පහක් විතර. සෙට් තුනක් කෙල්ලෝ. සෙට් දෙකක් කොල්ලෝ. මේ එක සෙට් එකකට සමන් කියල අපි කියමු. එක සමනෙක් හිටියා හරිම ක්‍රීඩාශීලී, හැබැයි කට්ට කළු. හොඳ කොණ්ඩයක් එහෙම තිබුණා. අනික් සමනා බර උස්සලා මස්පිඩු පුම්බ ගත්තු තට්ටයෙක්. ඌත් කළුයි හැබැයි අනිකා තරම් නෑ. මුලටම අපි මේ අයව අඳින්නුවේ කලු සමන්, සුදු සමන් කියල. මේකට කලු සමනා විරෝධය දැක්කුවේ සුදු සමනගේ සුදු, දත් ටිකයි සුදු ඉංගිරියාවයි විතරක් ය කියල. ඒ හින්ද කලු සමන් සහ ලා කලු සමන් කියමුය කියල යෝජනා වුණත්, ඒක කටට හරි නෑ. එහෙම නම් තට්ට සමන් සහ කලු සමන් කියමුය ඒයල යෝජනා කලේ පාප ලාල්. ඒ වුණාට මිනිස්සුන්ගේ අඩුපාඩු නම් වලට යොදන්න හොඳ නැති බව තමයි බහුතර මතය වුණේ. ඒ නිසා කලුම කලු සමන්ට අපි නමක් දැම්මා "සුද්දා" කියල. තට්ටය තියෙන අනික් එකාට නම දැම්මා "කොණ්ඩයා" කියල.

අපේ සින්දු කියන මිත්‍රයාට කාඩ් වෙලා තිබුණේ "කොකයි" කියල. කොකයි (cocci) කියන්නේ වටකුරු හැඩය ගන්නා බැක්ටීරියාවන්ට. එක දවසක් පටකවේද පන්තියක් අස්සෙදී අණ්වීක්ෂයෙන් පේන්නේ මොනවද ඇහුවම මූ කියාපි "පරණ කොකයි වගයක් බං" කියල.

තව නම් කීපයක්ම තිබුණත් අදාල අයගේ හරි නම් සහ විස්තර නොකියා ඒ නම්වල උපහාසය අරගන්න බෑ. ඒ නිසා දැනට නවතිනවා.


ප.ලි.: කෙල්ලො එක්කම කදේ දාගෙන ඉන්න කොල්ලෙකුත් අපේ කණ්ඩායමේ හිටියා. ඒ වගේ එවුන්ට සාමාන්‍යයෙන් කියන නම "ජංගියා". හැබැයි මේකා එසේ මෙසේ ජංගියෙක් නෙවෙයි රාජ සයිස් එකෙක්. 12 වෙනි සියවසේ ලෝකේ ලොකුම අධිරාජ්‍යය බිහි කලේ ජෙංගිස් ඛාන් රජතුමා. ජංගියන් අතර අධිරාජයා කියල අඳුන්වන්න අපේ බැචාට අපි දැම්මා නමක්, "ජංගිස් කාන්" කියල.

Wednesday, July 24, 2013

වැලා

දරු සම්පත් එහෙම ලබලා පියෙක් වුණ නිසා බඩා මාමා පහු ගිය මාස 10ක් විතර කාලයකට බ්ලොග් අඩවිය යාවත්කාලීන කරන්න හම්බ වුණේ නෑ. හදිස්සියෙම මෙහෙම බ්ලොගක් ලිව්වාය කියලා මතක් වෙච්ච නිසා ආයෙත් ආවා. වැඩිය කතා නැතුව කතාවකටම බහිමු.

බඩා වෛද්‍ය පීඨයට ආපු අළුතම (ඒ කියන්නේ 1998 දී - යකෝ මම නාකියි!) වෙච්ච සිද්ධියක් තමයි මේක. අපේ කතා නායකයා මොරටුව පැත්තෙන් ආපු, කලු, කෙට්ටු, පොඩි කොල්ලෙක්. කොල්ලා පොඩි වුණාට ශරීරයේ බරේ කිලෝග්‍රෑමයකට සාපේක්ෂව වැඩියෙන්ම බොන්නෙත් අපේ මිත්‍රයම තමයි. 

වෛද්‍ය පීඨයේ පළමු වසරේදී අපිට නේවාසිකාගාර නෑ. පුද්ගලික නේවාසිකාගාර වල මුදල් ගෙවාගෙන තමයි ඉන්නේ. මෙන්න මේ වගේ තැනකට ගායන හැකියාව තිබුණු මිත්‍රයෙකුත්, චිත්‍ර අඳින මිතරයෙකුත්, උයන්න දක්ෂ මිත්‍රයෙකුත් එක්ක අපේ කතා නායකයා සෙට් වුණා. අපේ සින්දු කියන මිත්‍රයාත් නියම බඩුවක්. කුළු හරකෙක් වගේ ඇඟ පත හයිය, සෑහෙන උස මහත, හැබයි හරිම අහිංසක කොල්ලෙක්. උදේ පාන්දරම මූ දත් මදින්නේ නැතුවම "මල් පිබිදී ගෙනැ එන්නේ - මඳ මඳ හිමිදිරි යාමේ" වගේ සින්දු කියනවා. සින්දු නම් ලස්සනට කියනවා, ඒත් අර කටේ කුණු කෙළ ගඳට පිබිදුණු මලුත් පර වෙනව කියලයි රට්ටු කිව්වේ. මල් පිබිදීගෙන එන්නේ කියද්දී අපේ චිත්‍ර මිත්‍රයාට ලෝකය කොළ පාටට පේන්න ගන්නවා කියලයි කියන්නෙත්. 

කොහොම හරි මේ පුද්ගලික නෙවාසිකාගාරයට ගිහින් සතියක් ඇතුලත අපේ කතා නායකයාට කාඩ් එකක් වැදුනා. කාඩ් එක "වැලා". මේ කාඩ් එක ඇහෙද්දී එක එක අය එක එක කතා කියනවා. සමහරු පත්තර ගැන කියනවා. සමහරු පලතුරු ගැන කියනවා. සමහරු කාන්තාවන් සහ ඔවුන්ගේ අඟපසඟ ගැන කියනවා. පෙබරවාරි 14 වෙනිදා වෙච්ච වැලන්ටයින් සිද්ධියක් ගැන සමහරු කියනවා. කතා ලෝකයයි. ඒත් නමට හේතුව දැනගත්තේ ටිකක් පහුවෙලා. අපේ මිත්‍රයා වැසිකිළිය ඇතුලේ රෙදි වැලක් බැඳලා!