Wednesday, August 13, 2014

කාර් ගැන කතා නොවේ!

වෛද්‍යවරයෙක් ගාවට රෝගියෙක් මුලින්ම ආ විටෙක දී කරන්නේ රෝගියාගේ රෝගයේ විස්තරය දැන ගැනීමයි. රෝගියා ආවේ මොන හේතුවකට ද, රෝග ලක්ෂණ මොනවද, සැක කරන රෝගය ඇති හෝ නැති බවට සැක හැර ගන්නට වෛද්‍යවරයා විසින් විමසනු ලබන ප්‍රශ්න ආදිය මෙයට ඇතුලත් වනවා. මෙවන් විස්තරයකට කියන්නේ "clinical history" කියලයි."History" එකෙන් පසුව එන්නේ රෝගියා පරීක්ෂා කිරීම (examination). රෝගී පරීක්ෂාව මට්ටම් හතරකින් සිදු වෙනවා.

පළමුවෙන්ම කෙරෙන්නේ නිරීක්ෂණය (inspection). උදාහරණයක් ලෙස කීවොත් රෝගියෙකුගේ පපුවේ යම් කොටසක් අඩුවෙන් චලනය වීම පෙණහැල්ලේ එම කොටසේ රෝගයක් අති බවට සාක්ශි සපයනවා. දෙවව කරන්නේ අල්ලා බැලීම (palpation). මතු පිට සමේ සහ සමට එතරම් නොගැඹුරුව පිහිටන අවයව (උදා. හෘදය වස්තුව, අක්මාව සහ ප්ලිහාව) ගැන යම් තොරතුරු දැන ගන්නට පුළුවන්. තෙවනුව එන්නේ තට්ටු කර බැලීම (percussion). මෙහිදී වෛද්‍යවරයා තමන්ගේ ඇඟිලි විහිහිදවූ අත රෝගියාගේ උරස හෝ උදරය මත තබා එහි මැද ඇඟිල්ලට අනෙක් අතෙ ඇඟිල්ලකින් තට්ටු කිරීම සිදු කරනවා. එයින් නැගෙන ශබ්දයෙන් යම් යම් කාරණා දැන ගන්න පුළුවන්. අවසනයේ කරන්නේ වෙද නළාවෙන් පරීක්ෂා කිරීම (auscultation).

සාමාන්‍යෙන් මේ මූලධර්ම යෙදෙන්නේ රෝගියකු පරීක්ෂාවට වුණත්, මේ විදියට කාර් පරීක්ෂා කරන බැචෙකුත් බඩාගේ විශ්ව විද්‍යාල සමයේ සිටියා! මුලින්ම මේ බැචා ගැන කියනවා නම්, මනුස්සයා බොහොම සිහින් සිරුරක් තියෙන මිටි පුද්ගලයෙක්. මෙයට සමාන නමක් තියෙන උස මහත බිත්තරයාගෙන් වෙන් කරලා අඳුනා ගන්න කොල්ලට කිව්වේ "ඇට්‍රොපියා" කියල. "Atropy" කියල ලතින් භාෂාවෙන් කියන්නේ යම් ඉන්ද්‍රියක් හෝ පටකයන් හායනය වීම එහෙම නැත්න කුඩාවීමට. ඒ නිසා අපේ මිතුරාට "හායනයා" හෙවත් "ඇට්‍රොපියා" යන්නයි භාවිතා වුණේ.

ඇට්‍රොපියාට තිබුණේ පරණ 11 ශ්‍රී ලාන්සර් කාර් එකක්. සතිය පුරා නේවාසිකාගාරයේ ඉන්න ඇට්‍රොපියා, සති අන්තයේ ගෙදර යන්නේ කාර් එකෙන්. සෙනසුරාදා දවල්ට. ඇට්‍රොපියාගේ කාර් පරීක්ෂාව අපට සතියකට සැරයක් බලන්න හම්බ වෙන්නේ එහෙමයි.

ඇට්‍රොපියා මුලින්ම කරන්නේ කාර් එක වටේ රවුම් තුනක් යන එක (inspection). ඊට පස්සේ කාර් එකේ බොඩිය අත ගගා තව රවුමක් යනවා (palpation). ඊට පස්සේ රෝද හතරට අතින් ගහල බලනවා (percussion), ඊට පස්සේ එන්ජිම පණ ගන්වලා මිනිත්තුවක් පමණ කන්දීගෙන ඉන්නවා (auscultation). හැම සති අන්තයකම ක්‍රියාව ඔය විදියයි.

මේ වගේම නොවුණත් කාර් එකට පණ හා සමාන ලෙස ආදරය කරන මහාචාර්යතුමෙක් පෙරාදෙණිය සරසවියේ හිටියා. මේ මහාචාර්යතුමා සති අන්තයේ පැය හතරක් වාහනය හෝදලා, වැකුම් ක්ලීන් කරලා, කාපට් හෝදලා ඇතුලට පත්තර එහෙම දානවා. ඊට පස්සේ කාර් එක ගෙනත් පේරාදෙණිය සරසවියේ රථ නැවතුමේ නවත්තලා තියෙනවා. වහින දවසට මහාචාර්යතුමා වාහනෙන් යන්නේ නෑ! යනෙන ත්‍රී වීලරයෙන්! වැස්ස නැති දාට හෙමින් සැරේ වාහනය ලඟට එන මහාචාර්ය තුමා, මුලින්ම වාහනය වටේ වටයක් යනවා. ඊටපස්සේ ඩිකිය ඇරලා සෙරෙප්පු දෙකක් එළියට ගන්නවා. ඉස්සරහ සීට් එකට ගිහින් ඉඳ ගන්නවා, ඒත් කකුල් දෙක එළියේ හිටින්න. සපත්තු ගලවල්ල කකුල් අතුලට ගන්න මහාචර්යතුමා සෙරෙප්පු පැලඳ ගන්නවා. ගලවපු සපත්තු දෙක සෙරෙප්පු දාපු කවරෙට දාලා ඇතුලෙන් තියා ගන්නවා!

කාර් ගැන ගොන් පාට් ලියපු සරසවි ආචාර්යවරුත් නැතුවා නොවේයි. තමන්ගේ කෙටිකතාවක සරසවි ඇදුරන්ගේ ජීවිත විසංයෝජනය කරන ශිෂ්‍ය මුරකරුවෙක් ගැත කතාවක් තියෙනවා. අදාල මහාචාර්යතුමාට එක වගේ කාර් දෙකක් තිය්නවාලු. විසංයෝජකයා කරනෙන ඒවායේ කීටැග් මාරු කිරීම. විසංයෝජකයාගේ ගෘහ භාණ්ඩ විසංයෝජනය නිසා තුවාල වෙන පීඨාධිපතිව රෝහලට ගෙනියන්න බැරි වෙනවා මොකද කාර් දෙකම පණ ගැන්වෙන්නේ නැති නිසා. හැබැයි අමරකීර්ති උන්නැහේට අමතක වෙන්න ඇති වැරදි යතුරෙන් වැරදි කාර් එකේ දොර ඇරෙන්නේත් නැති විත්තිය! ඒවගෙම "unlock" බොත්තම තද කළාම අදාල කාර් රථයේ විදුලි පහන් දැල්වී නිවෙන බව. හැබයි අමරකීර්ති මහත්තයාගේ ගෝලයන්ට නම්, 1992 කාලය ගැන කියන චිත්‍රපටියක වන ජයන්ත චන්ද්‍රසිරිගේ සමණල සංධවනියේ මෝටර් සයිකලයක ඉංගිරිසි අකුරු නොම්මර තියෙන එක නම් මහම ලොකු දොසක්!

Thursday, July 24, 2014

ටෙඩි බෙයා

බඩා මාමාගේ දෛනික වඩ එක්ක බ්ලොගක් ලියන එක අමාරු වැඩක්. ඒත් පුළුවන් වෙලාවට පුළුවන් විදියට කතා අරන් එනවා. මේ කතාව පාසල් සමයේ ටියුෂන් පන්තියක වෙච්ච කතාවක්.

බඩා මාමා ගිය ටියුෂන් පන්තියක හිටියා හුරු බුහුටි හෙණ පොෂ් කෙල්ලෙක්. කතා කරන වචන වලින් 20% ඉංග්‍රීසි. මේ කෙල්ලගේ හුරුබුහුටි භාවය නිසාම කිව්වේ "ටෙඩි බෙයා" කියල. ටෙඩි බෙයාට ට්‍රයි කරපු කොල්ලෝ බොහොම හිටියත් ටෙඩී නෙමෙයි ඒ එකෙක්වත් තඹේකට මායිම් කලේ. සැපයුම අඩු නිසා ඉල්ලුම ඉහළ යාමෙන් ටෙඩීට පන්තියේ තිබුණේ දැවන්ත ඉල්ලුමක්.

එක දවසක් ටෙඩී පන්තියට එනවා පේන්වා වයසක පොරක් එක්ක. පන්තියට මීටර් 200ක් විතර තියලා, අර පොරව නවත්තලා ටෙඩී තනියම පන්තියට යනවා. ඒ වෙනකොට පන්තියට එන බඩාට මේක පහසුවෙන්ම දර්ශනය වෙනවා. සුදු පාට ජාතික බැනියමයි සරමයි ඇඳපු තැන්පත් පාට මනු
ස්සයෙක්. මනුස්සයාගේ ඩයල් මීටර් කරගත්තු බඩා ටෙඩී පන්තියට යනකම් ඉඳලා අර පොර එක්ක කතාවකට සෙට් වුණා. මුලින්ම නිකම් ආගිය තොරතුරු අහලා කතාව පන් ගෙන ටික දුරක් යනකොට දැනගත්තා පොර චිත්‍ර ශිල්පියෙක් කියල. හැබයි බඩා ටෙඩී ගැන වචනයක්වත් ඇහුවේ නෑ. අර අමාරුවෙන් චිත්‍ර පාඩමේ කරපු දේවල මතක් කරන් පොරට ටෝක දාගෙන ඉන්න කොට අර කඩ ඉම් උත්තරය පිට වුණා. මේ මනුස්සයා ටෙඩී ගේ තාත්තා! ටෙඩී ඉන්න විදියට අපි හිතුවේ තාත්තා සුද්දෙක් වෙන්න ඕනය කියල. හැබයි මෙන්න ඇත්ත තත්වය! පොෂ් ඉංග්‍රීසි කතා කරන, නෙස්කැෆේ බොන, ෆැබ් එකෙන් කන (ලමයි, මේ අවුරුදු 20කට කලින්, අද ෆැබ් කියන්නේ නිකම්ම නිකම් කඩයක් වුණාට අපේ කාලේ තත්වය වෙනස්), ටිෂූ වලින් මූණ පිහින ටෙඩි බෙයාගේ තාත්තා රෙදි අඳින පොරක්. දෙන්නම් ජම්බු කියල බඩා ටෙඩී ගේ නම වෙනස් කලා. "රෙදි බෙයා".

නමේ තේරුම් කොල්ලන්ට මීටර් වුණේ බඩා ආයෙත් ටෙඩී ගේ තාත්තාව කොල්ලන්ට පෙන්නුවාමයි. අද වෙනතුරුත් ටෙඩි / රෙදි බෙයා බඩා මාමාගේ මූණ බලන්නේ නෑ!

Friday, April 18, 2014

Blue Label



පහුගිය දවසක අවුරුද්දට කලින් යම් කටයුත්තකට බඩා මාමා මහනුවරට සැපත් වුණා. මහනුවර කච්චේරියේ අදාල කාරණය ඉටු කරගන්නා තුරු ඉඳගෙන හිටපු බඩා මාමාට එහා පැත්තේ උඩු රැවුලක් තියෙන, ජටාවක් බැඳපු කෙට්ටු මිනිහෙක් ඉන්නවා. දැනුණු කම්මැලි කම නිසාම අර මනුස්සයා එක්ක පොඩි කතාවක් දාන්න බඩා හිතුවා.

බ.මා.: "කොහොමද ලොකු උන්නැහේ අවුරුදු?"
මි.: "අපිට අවුරුදු නෑ, අවුරුදු තියෙන්නේ රජගෙදර උත්තමයන්ට විතරනේ"
බ.මා.: "ඒ කිව්වේ?"
මි.: "දැන් බලන්න මහත්තයෝ අවුරුද්දට වැඩිම පෝලිම තියෙන්නේ කොහෙද? උකස් බඩු කඩ ලඟ. ළමයින්ට ඇඳුම් කාල්ලක් ගන්නෙ උකස් කරල"
බ.මා.:"ඉතින් එච්චර අමාරුද? ළමයි තුන් දෙනෙක්ට රුපියල් 2500ක් දෙනකොට ඇඳුම් ගන්න පුළුවන්නේ?"
මි.: "ඒ ගානත් අපිට නෑ මහත්තයෝ"

මිනිහා හෙන විරෝධාකල්ප බුවෙක් කිය්ල තේරුම් ගිය නිසා බඩා මාමා ෆුල් ටොස් එකක් දාල දුන්නා.

බ.මා.: "ඒ වුණාට ලොකු උන්නැහේ රාජ කුමාරයා නං උපන්දිනේට හෙන බෝතල් පාටියක් දාලලු නේද? බ්ලූ ලේබල්ම තමයිලු ගෙනත් තියෙන්නේ!"

(බ්ලූ ලේබල් කියන්නේ මිළ අධික විස්කි වර්ගයක්. බෝතලයක් රුපියල් 40,000 විතර වෙනවා). බඩා මාමා එක්ක කතා කරන මිනිහා හෙන බෙබේ පෙනුමක් තියෙන බවත් කියන්න ඕන.

මි.: "අම්මප මහත්තයෝ. බෝතලයක් 75ක් විතර වෙනව. මෙච්චර බොන අපිවත් බීල නෑනේ ඔය කියන ජාති"

ඊලඟට අහන්න ගිය දේ ගිලගෙන බඩා මාමා එතනින් මාරු වුණා.

Wednesday, April 9, 2014

පච්ච කෙටීම (18+)

කතා පණහකට පස්සේ ටික දවසක් විවේකයක් ගත්තේ ආයෙත් කතා ටිකක් එක්කහු කර ගන්න. ඔන්න ඉතින් බඩා මාමා ආයෙත් ආවා.





බඩා මාමාගේ රස්සාවේ හැටියට පච්චයක් කියන්නේ වැදගත් පණිවුඩයක් ලබා දෙන දෙයක්. පච්චයක් තිබීම තුලින් ම, අදාල රෝගියා රුධිරය මගින් බෝවන රෝග වැලඳීමට වැඩි අවදානමක් ඇති අයෙකු වශයෙන් වටගා ගැනෙනවා. ඒ වගේම පච්චයේ අඩංගු දේවල් සමහර වෙලාවට රෝගියාගේ මානසික තත්වය කියාපානවා. සමහර ශූර වෛද්‍යවරු පච්චය කෙටුවේ ලංකාවේ ද, පිටරට ද කියන්න තරමට පච්ච දැකලා තියෙනවා. අද කතාව පච්ච ගැන.

පච්ච කොටන්න ගිහින් වුණු "මරුවා බුදු වේවා" අවුල වගේ ඒවා අහලා අැති බවට විශ්වාස කරනවා. අපේ පරම්පරාවට කලින් පරම්පරාවේ වෛද්‍යතුමෙක්ට හම්බ වෙලා තියෙනවා ඇඟ පුරාම පච්ච කොටාපු මිනිහෙක්. පච්ච කොටලා තියෙන්නේ චිත්‍රපටි වල නම්. "නොම්මර 17", "සාමා", "චණ්ඩි මල්ලි", "චන්නයි කෙල්ලො දෙන්නයි" වගේ ඒවා හැමතැනම. ඒ වුණාට එක තැනක ගහල තියෙනවා "මසින්" කියල. මේ මොකද්ද කියල ඇහුවම ලෙඩා කියනවලු "ඕක සමහර වෙලාවට "මල්දෙණියේ සිමියොන්" වෙනවා. දැන් පේන්නේ ඔච්චරයි" කියල. පච්චය ගහපු තැන හිතා ගන්නකො බලන්න!

බඩා මාමා සීමාවාසික පුහුණුව ලබන කාලේ වාට්ටුවට ඇතුළු වුණා අඩි හයහමාරක් විතර උස මහ දැවැන්ත මිනිහෙක්. අරක්කු බීල වැඩිවෙලා අක්මාව නරක් වෙලා, කකුලේ තුවාලයක් හැදිලා. මිනිහගේ කලවා වල තියෙනවා ගැහැණු රූප දෙකක් පච්ච කොටලා, මිනිහගේ අහවල් එකට වැඳගෙන ඉන්නවා!

යොමු කිරීමේ ලියුම් ගැන ප්‍රසිද්ධ මහාචාර්යතුමා මේ දවස් වල විශ්‍රාම සුවයෙන් කල් ගෙවනවාලු. මහාචාර්යතුමා විශ්‍රාම ගත්තට උන්නැහේගේ කට නම් විශ්‍රාම අරන් නැහැ. ගුරුතුමා බැහැ දකින්න ගිය ගෝලයෙකුට මහාචාර්යතුමා කතාවක් කියල තියෙනවා. මේ ගෝලයා ගිහින් තියෙන්නේ ලංකාව T20 ලෝක කුසලානය දිනුවට පස්සේ. මහාචාර්යතුමා අහනවා "අර ක්‍රිකට් ලෝලී ගණිකාවගේ කතාව දන්නවද?" කියල. ගෝලය කියනවලු "නෑ" කියල. රැල් බුරුල් ඇරලා මහාචාර්යතුමා කිණ්ඩි හිනාවකුත් මූණට දාගෙන කතාව පටන් ගන්නවා.


 "ඔන්න ක්‍රිකට් ලෝලී ගණිකාවක් හිටියා. මෙයා කැමැති ලංකාවේ ටීම් එකට. අපේ මනුසසයෙක් දවස්ක ඔය කෙනා ගාවට ගිහින් තියෙනවා සැපක් ගන්න. වැඩේට සෙට් වෙන කොට අපේ යාළුවා දැකල තියෙනව කලවා දෙකේ පිරිමි රූප දෙකක් කොටල තියෙනවා. "ඔයා ක්‍රිකට් වලට ආසද?" ගණිකාව අපේ මිත්‍රයාගෙන අහනව. "ඔවු" කියල අපේ මිත්‍රයා කියනව. "එහෙනම් මේ කවුද කියන්න බලන්න කියල කලවා දෙක පෙන්නුවලු"  අපේ මිනිහ කියනව "දන්නේ නෑ" කියල. "මේ ඉන්නේ සංගක්කාර, මේ මහේල". අපේ මිනිහා හොඳට ඒ දිහා බලන් ඉඳල කියනවලු "ඒ දෙන්න නම් මට කියනකන්ම අඳුන ගන්න බැරි වුණා. ඒත් අර මැදින් ඉන්න, කොණ්ඩේ කැරලි තියෙන, තොල් මහත, කරාබුව දාපු කෙනා නම් මාලිංග කියල ටක් ගාල අඳුන ගත්ත". මහාචාර්යතුමා ඇහැක් ගහගෙනම කතාව ඉවර කරනවා. ගෝලයා හොල්මන්ද පොල්කොල.

Sunday, January 12, 2014

Sperm bank

බොහෝ රටවල් වල වගේම අපේ රටේත් විවාහ වූ අයගෙන් සැලකිය යුතු ප්‍රතිශතයකට තියෙන ප්‍රශ්නයක් තමයි මඳ සරු භාවය (subfertility). මේ නිසා දරුවකු හදා ගැනීමට පමාවීමේ විද්‍යමය ප්‍රශ්නවල ඉඳලා සමාජීය ප්‍රශ්න දක්වා පුළුල් පරාසයක ප්‍රශ්න ඇතිවෙනවා. මඳ සරු භාවයට හේතුව එක්කෝ පුරුෂයා, නැත්නම් ස්ත්‍රියගේ සහ බොහෝ විට දෙදෙනාගේම ප්‍රශ්නයක්. සමහර පිරිමි අයගේ සිරුරේ ශුක්‍රාණු නිපදවෙන්නේ නැහ. සමහරුන්ගේ නිපදවෙන ශුක්‍රාණු වලට පිහිනීමේ හැකියාව නැහැ. සමහර අයගේ ජානමය විකෘති බහුලයි. ඔය අතරින් දෙවැනි කණ්ඩායමට නළ දරුවන් (in vitro fertilization) ලබා ගැනීමට හැකියාව තියෙනවා. නළ දරුවන් කියන්නේ සාමාන්‍යයෙන් අන්තිම ප්‍රතිකාර ක්‍රමය. නමුත් පළමු හා තුන්වන කණ්ඩායම් වලට ඒ අවස්ථාවත් නැහැ. මේ වගේ වෙලාවට කරන්න වෙන්නේ වෙන පිරිමියෙක්ගේ ශුක්‍රාණු පාවිච්චි කරලා (sperm donation) දරුවකු ලබා ගැනීම. 

1999 වගේ කාලේ මේ කියපු ක්‍රමය ලංකාවට ආගන්තුක එකක්. මොකද එහෙම කරන්න නම් ශුක්‍රාණු ගබඩා කර තියා ගන්නා ශුක්‍රාණු බැංකු ඇති වී තිබිය යුතුයි. සාමාන්‍යයෙන් ශුක්‍රාණු ගබඩා කරන්නේ ද්‍රව නයිට්‍රජන් ඇසුරේ. ඒ නිසා එවන් බැංකුවක් පවත්වා ගැනීම සෙල්ලමක් නෙවෙයි. ශුක්‍රාණු බැංකු පාවිච්චි වෙන තව අවස්ථාවක් තමයි ඊවිතය බේරා ගැනීම සඳහා ශුක්‍රාණු විනාශ විය හැකි ඖෂධ දෙන්න සිද්ධ වෙලා තියෙන අවස්ථාවක (පිළිකා සහ ඇතැම් වකුගඩු රෝග මේකට උදාහරණ ) ප්‍රතිකාරයට කලින් අනාගතය උදෙසා ගබඩා කර තැබීමට. ශුක්‍රාණු දායකයෙක් ගේ නම කොයි වෙලාවකවත් අනික් අයට හෙළි කරන්නේ නැහැ. උස, කෙස් සහ ඇස් වල පාට, සහ බුද්ධි ඵලය වගේ විස්තර ලබා දීමෙන් තෝරා ගැනීමකට ඉඩ ලැබෙනවා.

1999 වගේ කාලෙක එක්තරා නාරි හා ප්‍රසව වේදය පිලිබඳ වෛද්යතුමෙක් ශුක්‍රාණු බැංකුවක් පටන් ගන්න තීරණය කලා. දැන් මේකට දායකයොත් හොයා ගන්න ඕන. ඒ විද්‍යතුමා එවකට සායනික පුහුණුවට ආපු බඩා සහ කණ්ඩායමට ශුක්‍රාණු දායකයන් වෙන්න යෝජනා කළා. වෛද්‍ය ශිෂ්‍යයන්ගේ බුද්ධි ඵලය ඉහළයි කියල පිළිගන්නා නිසා දායකයන් හැටියට ඔවුන්ට තියෙන්න ඉල්ලුමත් බොහොම වැඩියි. ඒකට කණ්ඩායමෙන් ආවේ එක එක ප්‍රතිචාර.

සාමාන්යයෙන් ශුකාණු ලබා ගන්නේ ස්වයංවින්දනයේ යෙදීමෙන්. තැන්පත් කල ශුක්‍රාණු වලින් ගැබ් ගන්වීමක් කරන්නේ artificial insemination කියන ක්‍රමයෙන්. අපේ කණ්ඩායමේ හිටපු මුස්ලිම් සිසුවෙක් කියනවා "සර්, අපේ ආගමට අනුව ස්වයංවින්දනයේ යෙදීම තහනම්. මේක කරනවා නම් coitus interruptus ක්‍රමයට තමයි කරන්න වෙන්නේ" කියල. මේකා නොකියා ඉල්ලන්නේ ශුක්‍රාණු දෙන්න නම් බිරිඳකුත් හොයලම දෙන්න කියල! කොටියා කියන්නේ ඕක බැංකුවෙන් කරන්න ඕන නෑ මං ගාවට එව්වොත් ස්වභාවික ක්‍රමයටම (natural insemination) කරල දෙන්නම් කියල. සමනා කියන්නේ උගේ ගති ළමයට ගියොත් දායකයා හොයා ගන්න එක ඒ හැටි අමාරු වෙන්නේ නෑ, එතකොට මේ ගෑණු වන්දි ඉල්ලන් ඒවි කියල. ඒ ඔක්කොටම උඩින්, ශුක්‍රාණු බැංකු කරන වෛද්‍යතුමාට බඩා නම දැම්මා "ධාතුසේන" කියල. එදා ඉඳන් සහෝදර විශේෂඥ වෛද්‍යවරු පවා එතුමාට කතා කරනෙන "ධාතුසේන" කියලමයි.

ප.ලි.ලෝකේ අදක්ෂම
බැංකු හොරු ශුක්‍රාණු බැංකුවක් බිඳපු කතාවත් යන්තම් මතක් වෙනවා!

ප.ප.ලි. - දන්නෙම නැතුව කතා 50ක්ම ලියලා!

Friday, January 10, 2014

අතේ ද? කකුලෙ ද?

මේ සිද්ධියත් අපි සායනික පන්ති වලට යද්දී සිද්ධ වෙච්ච දෙයක්. ආයෙත් ශල්‍ය වාට්ටුවමයි, වෛද්‍යතුමාත් කලින් කෙනාමයි. බඩේ කැක්කුමක් එක්ක ආපු ලෙඩෙක්ව පරීක්ෂා කරන ගමන් ගුරුතුමා කියනවා "you have to ask about testicular pain" කියල. දැන් "testicular pain" කියන එක සිංහලෙන් අහන එක ගැන අපේ අර කොට ජීවිත සෙට් එකට හරි ප්‍රශ්නයක්. හැබැයි මේ ලෙඩාගෙන් අදාල වෛද්‍යතුමා ඇහුවේ "වෘෂණ කෝෂය පැත්තට කැක්කුම යනවද?" කියල. ලෙඩත් "ඔවු" කියල පිළිතුරු දුන්නා. මේ ලෙඩා සිංහල ලෙඩෙක්.

Testis කියන්නේ වෘෂණ කෝෂය විදියට හිතේ තියා ගත්තු අපේ කොට ජීවිතයක් ඊලඟ ලෙඩාගෙන් රෝගී විස්තරය ගන්නවා. මේ ලෙඩාගේ ප්‍රශ්ණය වෘෂණ කෝෂයක් ඉදිමීම. හැබයි මේදා සැරේ ලෙඩා මුස්ලිම්. අපේ කොට ජීවිතේ අහනවා "දැන් ඉදිමිලා තියෙන්නේ කොයි පැත්තේ වෘෂණ කෝෂයද ?" කියල. සිංහල හරියට නොදන්නා මේ ලෙඩා හොල්මන්ද පොල්කොල. "අනේ නෝනා මාතියා ඒම එකක් ඉදිමිල නේ" ලෙඩා කියනවා. "එහෙනම් ඉදිමිලා තියෙන්නේ මොකද්ද?" මෙහෙම අහන්නේ අපේ කොට ජීවිතේ. "නෝනා, ඉදිමිලා තියෙන්නේ ඇටේ නේ" කියල. "ආ කොහේ ඇටේද? අතේද? කකුලෙද?" කියල අහන්නේ අපේ කොට ජීවිතේ! ලෙඩා කියනවා "අර දෙකක් තියෙන ඇටේ නෝනා" කියල. අහන් ඉන්න අපිට පට්ට හිනා!

ප.ලි. අස්ථි පඤ්ජරය හෙවත් ඇට සැකිල්ල කියන එකේ අකුරු මාරු වෙච්ච සංගෙඩිය පාඨක ජනයා දන්නවා ඇතැයි බඩා උපකල්පනය කරනවා.