Saturday, February 21, 2015

ක්‍රිකට් . . .

එංගලන්තේ පුහුණුවකට ගිහින් ඉන්න බඩා කටුක ශීත ඍතුවක් එහෙම සාර්ථකව ගෙවා දමමින් ඉන්නේ. හිම වැටුනේ දවස් තුනයි. හැබැයි සෙන්ටිග්‍රේඩ් -10 ගිහිපු එක දවසකවත් හිම පොදක් නම් වැටුණේ නැහැ. පට්ට සීතලේ සුද්දන්ගේ ලුණු මිරිස් නැති පිටි ගුලි ගිල ගිල ඉන්න දුක යන්නත් එක බ්ලොග ලියන්න ගන්න ඕනය කියල බඩාට හිතුණා.

මේ සිද්ධිය වෙන්නේ 1997 දී, බඩා විශ්ව විද්‍යාලයට ඇතුළු වූ ඇලුත. බඩාගේ කණ්ඩායමට නවක වදය නොදෙන බවට ජ්‍යේෂ්ඨ උත්තමයන් කලින්ම තීරණය කරලා තිනුණ නිසා මේ දවස් වල වෙනවා වගේ දේවල් වෙයි කියල බයක් තිබුණේ නෑ. අළුත් කණ්ඩායමක් ආවම විශ්ව විද්‍යාලයේ ක්‍රීඩා කණ්ඩායම් වල නායකයෝ ඇවිත් කතා කරලා ක්‍රීඩා වලට උනන්දු කණිෂ්ඨයින්ව අඳුනා ගන්නවා. ඔය විදියට ක්‍රිකට කණ්ඩායමේ නායක උත්ට්මය කතා කල නිසා බඩාත් ක්‍රිකට් පුහුණුවීම් වලට ගියා. කණ්ඩායමේ දඟ පන්දු යවන්නන් නොහිටි නිසා යම් තැනක් තියෙයි කියල හිතාගෙන මේ තීරණය ගත්තා මිසක, බඩා දරුණු විදියට ලෙදර් පන්දුවෙන් ක්‍රිකට් සෙල්ලම් කරලා නෑ. නමුත් පන්දුව ඉතාම තදින් දඟ කවනවා කියල නම් ප්‍රසිද්ධියක් තිබුණා.

ක්‍රිකට් පුහුණුවීම් වලට ගිය පළමු දවසේ තමයි දැන ගත්තේ නවක වදය තවමත් ඉවර නැති බව. කණ්ඩායමේ නායක උත්තමයා ගෝරනාඩු කරනවා "තොපි ක්‍රිකට් ගහන්න එන්නේ ෆිසිකල් ෆිට්නස් හොඳ හින්දන්නෙ, මෙතන එක්සයිස් කළාම මැරිල වැටෙන එවුන් ඉන්නව නම් ක්‍රිකට් නොගහ පලයවු, මොකද අපිට තොපේ මළ කඳන් උස්සන් යන්න බෑ මැච් අතරේ". කොහොම හරි ෆිසිකල් රැගින් පාරක් ගානට හම්බ වුණා. බඩා හොරට රැග් වෙන නිසා බැනුම් ඇහුවේ ගෝණි ගාණට.

රැග්වීම් අවසානයේ නායක උත්තමයා කියනවා "අපිට ඊලඟ ප්‍රැක්ටිස් දවසට පාටියක් දීපියවු" කියල. "මුගේ අම්මට, රැග් කරල පාටිත් ඉල්ලනව" කියල හිත යටින් බැන බැන බඩා ඇතුලු නවකයින් ගෙදර ආවේ. කඩෙන් කිරි ටොපි පැකට් එකක් ගත්තේ ඊලඟ දවසේ ගෙනියන්න.

ඔන්න කොහොමෙන් හරි ඊලඟ දවස ආවා. අපි ගෙනා කැවිලි හෙම කකා ජ්‍යේෂ්ට උත්ත්මයෝ ෆන් එකක් ගන්නවා. මුන් ඔක්කොම කිරි ටොපි කාලා බඩාට කෑල්ලක්වත් හම්බ වුණේ නෑ. රැග් වෙන්න වීම ගැන බඩා හිටියේ තරහෙන්. දෙන්නම් ජම්බු වලින් තමයි හිටියේ. ඔන්න එක පාරම කණ්ඩායම් නායකයා අහනවා "මල්ලි, කිරි ටොපි රහයිනේ, කවුද බන් මේවා හැදුවේ?" කියල. පොටක් පෑදෙන බව තේරුම් ගන්න බඩාට ගියේ තත්පරයෙන් බාගයයි. "ඕවා හැදුවේ මම" කියල බඩා තඩි බොරුවක් අත අරිනවා. "මාරයිනේ බන්, කොහොමද හදන්නේ ?" බඩාත් ඉතින් කොහ්මෙන් කොහොමෙන් හරි ගැට ගහලා කිරි ටොපි හදන විදිය කියල දුන්න. දැන් ගේම දෙන්න බඩාගේ වාරය. කිරි ටොපි වල කජු කෑලිත් එහෙම තියෙනවනේ. "මම කිරි ටොපි හදද්දී වහලේ හූනෙක් හිටියා, පොඩ්ඩක් එළියට ගිහින් එද්දී ඌ නෑ. හැබැයි හූණා වැටුණා කියල මම හිතන්නේ නෑ" කියල. ඒ අස්සේ ගිණි කූරා කියනවා "හූණත් ඉතින් හැපෙන්නේ කජු වගේ නේ" කියල.

විනාඩි පහක් යන්න කලින් මෙන්න ජ්‍යේෂ්ඨ උත්තමයෝ ටික පැවිලියන් එක අස්සේ වමනේ දානවා "ඕක්! ඕක්!" ගගා. මම ගිණි කූරගෙන ඇහුව "උඹට අප්පිරිය නැත්ද?" කියල. "ආ ඕක වැඩිපුර ප්‍රෝටීන් නේ බන්! මට ප්‍රෝටීන් ටිකක් අපතේ යන්නේ නෑ" කියල ගිණි කූරා කියල දැම්මේ ඇඟට පතට නොදැනී.